Friday, July 24, 2015

සබඳ නුඹ දැල්වෙනා සකිසඳ

සබඳ නුඹ දැල්වෙනා සකිසඳ
තාරුකා මෙනි නීල දෙනුවන 
අකම්පිත වූ මහිත් මඩලේ 
සඳළුතල නිති එකළු වන කළ

නිති ගොතා කවි පබඳිනා හැර 
විට කකා ඉවසන්නෙ කෙලෙසක 
ඉඟි මරා තුන් හිතම දියකර 
අවි දැරූ සැළමුතු පෙමයි නුඹ 

ඉකිගසා සියොලඟම පුබුදන 
පෙම අරා ඔත්පලයි හදවත 
බැබලෙනා විට ලොවක් අභියස 
විදදරා සඟවන්නේ කෙලෙසද? 
නිමන්තිකා 
පින්තුරය :අන්තර්ජාලයෙනි

Tuesday, July 21, 2015

මිත නුඹට ලියා දන්වන වග නම්

මිත නුඹට ලියා දන්වන වග නම්...
කටු කොහොල් මැදින් 
ගෙවූ 
ගිම්හානයද සුන්දරය 

කළල් විකසිතව මැවූ 
පාවඩ වුව රන් හීනමය

ඉදින් නොපවසාම බැරිය 
නුඹ යමක් දිනූ වග 

හුරුබුහුටිව එන 
වසන්ත පැහැබර
"අභිමන්" වුව 
පෙණ බුබුලන බව   

සිහියෙන් අවදිව පාතබනා සඳ 
වැළහෙන්නට නොව 
පසිඳන්නට ඇති 
මැවුම් කෝටියකි 
නුඹ පා අභියස...!                         

ප.ලි.-: දිළිසෙන ඇස් දෙකක් දහසකුත් අභියෝග හමුවේ දිනාගත් ජයග්‍රහණයට සව්දිය පිරීම නිමිත්තෙනි.  

Friday, July 10, 2015

මටත් ආසයි තනිවෙන්න...

හුදකලාව මා දුටු හොඳම කලාවයි.
මන්ද මට මා පිලිබඳ මෙන්ම 
අවට ලෝකය පිළිබඳවද මගහැරුණු 
සියළු කරුණු කාරනා සිහිපත්වන නිසාවෙනි.

ඉතිං මටත් ආසයි තනි වෙන්න 
පාළු අඳුරු කුටියක හුස්මකටත් රහසින්ම 
ඔබේ නෙත් කිරණ මවා රස විඳින්නට 
කිසිවෙකුගේ බැළුම් පහරකට වත් යටත්  නොවී 
ඔබ හා සිහින ගඟුලක කිමිදෙන්න..
වස්සානය අභිමුව ගිමන්කලක විඳින 
කටුක දුක්බර සිතැඟි මුමුණන්න..

පැරණි රතු වයින් තොල් පහසකට නතුව
පාළු කාන්සියට ඔච්චම් කරන්නට 
අවට ලෝකය සමඟ මුහුවුණ 
සියළු පීඩන මුදාහරිනට 

සිහින හොරෙක් ලෙස නුඹ සපැමිණි කල
සිහින සිත්තම් වැළඳ ගන්නට 
හැරවුමක් නැති ඇරඹුමක් තුල 
ගිලී කිමිදී සිහින දකිනට 
මටම ඉපදුන මට අහිමි උන
පෙමක් පිලිබඳ තැවුල් පිසිනට....

ඉතින් ආසයි මටත් ආයෙම 
හුදකලාවේ සුව විඳින්නට...

නිමන්තිකා